Search
  • Everystory Sri Lanka

සිහින නොසෙයූ දිරිය ගැහැණියක් -පුෂ්පා රම්‍යානි ද සොයිසා

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි, මේදිනී රාජපක්‍ෂ


Everystory Sri Lanka presents the first thirty stories from our ongoing work to create a compendium of Sri Lankan women’s stories — featuring those whose lives, work, and experiences have shaped and are shaped by Sri Lanka’s social, political, and cultural contexts.

From the Stories of Sri Lankan Women Archive —පුෂ්පා රම්‍යානි ද සොයිසා


Illustration by Danushri Welikala- danushri.welikala@gmail.com


ඇය අද ඊයේ නොව බොහෝ කලක සිටම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බබළමින් සිටින සුවිශේෂී ගැහැණියකි. ඒ අන් කිසිවක් නිසා නොව ඈ සමාජය වෙත නිර්ලෝභීව දායාද කරමින් සිටින හෙද සේවාවන්, උපදේශනයන් හා දැනුම් සම්භාරයන් පමණක් ම නොව ඇය සමාජය වෙනුවෙන්ම ජීවිතය කැප කළ සුවිශේෂී සමාජ සේවිකාවක් ද වන නිසාය. ඇය බොහෝ කලක සිටම ජනප්‍රිය ගැහැණියක් වන්නේ ද බොහෝ දෙනාගේ ආදර ගෞරවයට ලක් වන්නේ ද ඒ සුවිශේෂීභාවයන් නිසාය.


ළමා වියේ මතක

පුෂ්පා රම්‍යානි ද සොයිසා නම් ඇය හැදී වැඩෙන්නේ රත්මලානේය. ඇගේ පියා සහ මව දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ වුවත් විවාහයෙන් පසු ඔවුහු රත්මලානේ පදිංචියට පැමිණ තිබුණි. ඇගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙකු වූයේය. වැඩිමහල් සොයුරියන් දෙදෙනෙකු හා වැඩිමහල් සොයුරෙකු ද සමග හැදී වැඩුණු පුෂ්පා රම්‍යානි පවුලේ බාලයා ය. ඇය පාසල් අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස් උසස් බාලිකා විද්‍යාලයෙනි. ඇය පාසල් කාලය තුළ ද සුවිශේෂී දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවක්ව සිට ඇත. ඒ එක් අංශයකට පමණක් නොව කථික තරඟ, කෙටි කතා තරග, ගායන නර්තන හා වේදිකා මෙන්ම ක්‍රීඩා ආදී විවිධ වූ ක්ෂේත්‍රයන් හි ඇය දක්ෂතා පෙන්වූ හා ජයග්‍රහණ රාශියක් ලැබූ ශිෂ්‍යාවක් බවට පත්ව සිටියාය. “ඉතින් මම ටිකක් දඟ කෙනෙක්. ගොඩක් දඟයි. බැණුම් අහලා තියනවා, දඬුවම් ලැබිලා තියනවා. නමුත් ඒ දඬුවම් ජීවිතයට වටිනවා සහ ජීවිතය හදා ගන්න හරිම හොඳ පන්නරයක් ඉස්කෝලෙන් ලබා ගත්තා.” ඇය පැවසන්නේ ඇගේ ළමා කාලය සිහිපත් කරමිනි. ළමා කාලයේ ඇයව අධ්‍යාපනයට දිරිමත් කරන වටපිටාවක් නිවස තුළ නිර්මාණය වී තිබුණි. එමෙන්ම පාසල් කාලය තුළ සිටම සමාජ සේවා කටයුතු වෙනුවෙන් උන්නදුවක් දක්වා තිබූ ඇයට ඊට පවුලේ සාමාජිකයන්ගෙන් ද සහයක් මිස කිසි කලක විරෝධයක් තිබී නැත. අසල්වැසි මිතුරු මිතුරියන් ද සමග එක් වී ඇය ගම් පළාතේ විවිධ සමාජ සේවා කටයුතු සිදුකර තිබුණේ ඒ සහයෝගයන් ද ලැබෙන වටපිටාවකය. පුෂ්පා රම්‍යානි ද සොයිසා නම් සමාජ සේවයට කැපවූ ගැහැණිය අපට හමු වන්නේ හදිසියේ ම නොව එලෙස ළමා වියේ සිටම සමාජ සේවා ලැදියාවන් පෙන්නුම් කරමින් වැඩුණු අයෙකු ලෙසය. පාසල් සමය තුළ ද එලෙස එක් ක්ෂේත්‍රයකට පමණක්ම නොව ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා පෙන්වූ ඇයට තමන් අනාගතයේ දී නියැලීමට බලාපොරොත්තු වන වෘත්තිය සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත සිහිනයක් නොවූ බව ඇය පවසන්නීය. “කිසිම සිහිනයක් තිබුණේ නෑ. අවස්ථානුකූලව ඉගෙනගත්තා. පන්තියේ පළවැනියා වෙන්න ඕනකම තිබුණා, පළවෙනියා වුණා. ක්‍රීඩා ඔක්කොගෙන්ම පළවෙනියා වෙන්න ඕන වුණා, පළවෙනියා වුණා. එක තරගයක් හරි පැරදුණොත් ඊළඟ දවසේ ඒක ජයග්‍රහණය කරනවාමයි. අධ්‍යාපන උසස්පෙළ ජීව විද්‍යාව දක්වාම ඉගෙනගෙන ඒ ඒ අවස්ථා අනුව තමයි ඒකට මුහුණ දුන්නේ. හැමතිස්සේම මටම තමයි මම අභියෝගයක් කරගත්තේ. මං පරදින්නේ නෑ, මං පැරදුණොත් මම ඇයි පැරදුණේ කියන එකට තමයි මම උත්තරයක් හොයන්නේ.” යම් දිනෙක හෙදියක වීමේ සිහිනයක් හෝ වෙනත් නිශ්චිත අනාගත වෘත්තීය සිහිනයක් ඇයට තම පාසල් කාලය තුළ නොවූ බව සිහිපත් කළේ එලෙසිනි.


දන්නෙම නෑ හෙදියක් වුණා

එක් ක්ෂේත්‍රයකට නොව ක්ෂේත්‍ර ගණනාවකම දස්කම් පෙන්වූ ශිෂ්‍යාවක් වූ ඇයට නිශ්චිත වෘත්තියක් කෙරෙහි හීනයක් තිබී නැත. ඇගේ වෘත්තීය තෝරා ගැනීම සිදුව තිබුණේ සැබවින් ම ඇයම තෝරාගත් හෝ ඇයම සෙවූ වෘත්තියක් ලෙස නොවේ. “කිසිම හීනයක් තිබුණේ නෑ, ඉගෙනගෙන යන මට්ටමට යන්න තමයි හිතුවේ. නමුත් මගේ දෙවෙනි අක්කා නර්ස් කෙනෙක් නිසා එයා මට හොරෙන් දාපු ඇප්ලිකේෂන් එකකට තමයි නර්සින් කැඳවුණේ. එතකොට මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා. අම්මාගේ හීනයක් තිබුණා මාව වෛද්‍යවරියක් කරන්න. මොකද එක එක වෘත්තීන් ගෙදර හිටපු නිසා. නමුත් ඉතින් ඒක මගේ ඔළුවේ තිබුණේ නැහැ. මට ලකුණු අනුව වෛද්‍ය විද්‍යාලයට යන්න හම්බුණේ නැහැ. මම දෙවැනි සැරේ කොහොම හරි යනවා කියලා හිතාගෙන ඉද්දී තමයි මේක වුණේ. ඊට පස්සේ හැබැයි අන්තිමට ඉතින් දන්නෙම නෑ හෙදියක් වුණා.” අද පුෂ්පා රම්‍යානි ද සොයිසා තම හෙද වෘත්තීය ජීවිතයේ ආරම්භය සනිටුහන් වූ අයුරු සිහිපත් කළේ එලෙසය. වැඩිමහල් සොයුරියන් දෙදෙනාගෙන් එක් අයෙක් හෙදියක වූ අතර අනෙක් සොයුරිය සහකාර විදුහල්පතිනියක් වූවාය. වැඩිමහල් සොයුරා සිවිල් ඉංජිනේරුවරයෙක්ව සිට ඇති අතර සුනාමි ව්‍යසනයේ දී එම සොයුරාත් ඔහුගේ පවුලේ අයගේත් ජීවිත අහිමිවී තිබුණි. කෙසේ වෙතත් එදා හෙදියක වීමේ කිසිදු බලාපොරොතුත්තුවක් නොතිබුණ ද අද තමන් එම ක්ෂේත්‍රයට පිවිසීම සතුටක් බව ඇය පවසන්නීය.


දඬුවම් මාරු හා හිංසන මැද ඇරඹි හෙද ජීවිතය

කෙසේ වෙතත් හෙදියක ලෙස ඇය ආරම්භ කරන වෘත්තීය ජීවිතය ඇයට මුල සිටම පහසු ගමනක් වන්නේ නැත. මුලින්ම හෙදියක ලෙස වෛද්‍ය අංශයේත් පසුව පිළිස්සුම් ඒකකයේත් ඇය සේවා සලසන්නීය. ඇගේ හෙද ජීවිතය ආරම්භයේ සිටම ඇය විවිධ අංශ වලට දඬුවම් මාරුවීම් ලබන්නීය. ඒ ඇය රෝගීන් වෙත දැක්වූ විශේෂ සොයා බැලීම් නිසා මෙන්ම එතෙක් පැවති සාම්ප්‍රදායික හා පසුගාමී ක්‍රමවේදයන් වෙනස් කරමින් ඉදිරිගාමී වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම නිසා බව පුෂ්පා රම්‍යානි ද සොයිසා පවසන්නීය. ඇය එලෙස කටයුතු කිරීම එහි බොහෝ දෙනෙකුගේ ද්වේශයට හා ඊර්ෂ්‍යාවන්ට හේතු වී තිබුණි. ඒවා ඇයට දඬුවම් මාරු ලබා දීම්, ඇයට විරුද්ධව පෙත්සම් ගැසීම් හා විවිධ අපහාස හා පීඩනයන්ට පත් කිරීම් ලෙස පැමිණි බව ඇය සිහිපත් කරන්නීය. කෙසේ වෙතත් ඇය දැඩි සත්කාර ඒකකයේ සේවය කළ අවධිය ඇගේ වෘත්තීය ජීවිතය සුවිශේෂී කඩඉමක් වෙතට ගෙන ගොස් තිබුණි. 1991 වර්ෂයේදී ෆින්ලන්ත ව්‍යාපෘතියක කටයුතු කරමින් සිටි විශේෂඥ හා හෙද කණ්ඩායමක් විසින් එහි සේවය කළ හෙදියන් අතරින් දක්ෂතා අනුව ඇය තෝරාගෙන තිබුණේ “ෆ්‍රියාජ්” නමින් ආරම්භ කළ සේවාව සඳහාය. එනම් රෝගීන්ගේ තත්වය අනුව ඔවුන් වර්ගීකරණය කිරීමයි. විශේෂිත පුහුණුවක් ලද හෙද නිලධාරිනියක වූ ඇය, දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති යුධමය ගැටුම් හේතුවෙන් බෝම්බ පිපිරීම් ආදිය සිදු වී රෝගීන් රැගෙන ආ විට, ඔවුන් අසාධ්‍ය තත්ත්වය අනුව තෝරා බේරා ගැනීමේ ක්‍රමවේදය සාර්ථකව ඉටු කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් සඳහා යොමු කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කලාය. “ඊට පස්සේ මම තනිවුණා, මම ගොඩක් දුක් වින්දා. මට හරියට හිංසන කළා ඩොක්ටර්ස්ලාත්. මොකද එතකොට නර්ස් කෙනෙක්නේ රෝගීන් ඩොක්ටර්ට දාන්නේ. මේ රටේ මිනිස්සුන්ට ඒක අකැපයි. මම ඩොක්ටර්ට ඒවා තීන්දු කරනකොට ඒකට හරියට විරුද්ධයි. නර්සස්ලාත් විරුද්ධයි, ඩොක්ටර්ස්ලාත් විරුද්ධයි, මයිනර් ස්ටාෆ් එකටත් මාව පෙන්නන්න බෑ.” ඇය තම වෘත්තීය ජීවිතයේ ඉදිරියට යෑම් සමග මුහුණ දුන් අමිහිරි මතකයන් එලෙස සිහිපත් කළාය. කෙසේ වෙතත් විශාල වශයෙන් එල්ල වූ බාධක මධ්‍යයේ වුවද, සිංගප්පූරුව, ජපානය, ඇමරිකාව, තායිලන්තයේ මැහිඩොල් විශ්වවිද්‍යාලය සහ ඉන්දියාව යන රටවල විශේෂිත හෙදකම අධ්‍යනය කිරීම ඇතුළු වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට ඇයට අවස්ථාව ලැබී ඇති අතර, ඇයගේ දැනුම වැඩි දියුණු කර ගැනීමට ඒවා භාවිතා කර ඇත. එසේම ඇය විසින් තමා ලබාගත් දැනුම අනෙක් පාර්ශවයන් සමඟ හුවමාරු කර ගැනීමටද එමඟින් අනෙක් පාර්ශවයන් දැනුවත් කිරීමටද කටයුතු කලාය. ත්‍රිවිධ හමුදා පුහුණුවීම්, ආපදා සහ හදිසි අවස්ථා කළමනාකරණය වැනි පුහුණුවීම් මඟින් සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ ප්‍රජාව දැනුවත් කිරීම් මෙරට ආරම්භ කල පළමු හෙදිය වන්නේද ඇයයි. ආපදා කළමනාකරණයෙහි විෂයානුබද්ධ නිපුණයෙකු වන ඇය, අනෙකුත් රටවල එසේ විශේෂිත වූ හෙදියන්ට සුවිශේෂී ගෞරවයක් සහ ඉතා ඉහළ පිළිගැනීමක් හිමිවෙන අතර ශ්‍රී ලංකාවේ ඒ සඳහා නිසි ඇගයීමක් ලබා නොදෙන බව පවසයි. “මම හෙදියක් විදිහට ඇවිල්ලා මා වෙනුවෙන් තනතුරු නිර්මාණය වුණා. මම සුදුසුකම්ලත් විශේෂඥ හෙදියක්. දැන් මට උපදේශක භෙදවරිය (‘කන්සල්ටන් නර්ස්’) කියන වචනේ කියන්න දෙන්නේ නෑ නේ මේ රටේ. මම ම කියාගන්නවා ‘ස්පෙෂලයිස්ඩ් නර්ස්’ කියලා. නමුත් ඒකට මට නිල ඇඳුමක් නෑ. මිනිස්සු කවුද මේ පුෂ්පා, මොකද්ද මේ මොනවද මේ නිල ඇඳුමක් නෑ, තනතුරු නෑ, නිකං හැදෙනවා කියලා අපහාස කරන්න ගත්තේ ඊළගට. නමුත් මම සුදුසුකම් ලබලයි මෙතෙන්ට ආවේ කියා මිනිස්සු දන්නේ නෑ. ඕක මෙහේ වෛද්‍යවරුන්ටත් ප්‍රශ්නයක් වුණා. මම හැමදාම ඉතින් ෆයිල් එකක් තියාගෙන මගේ පත්වීමේ ලියුම් දි දී තමා හිටියේ. දැන් නම් ස්ථාවර වෙලා තියෙන්නේ.”


මම අතිශය සාමාන්‍ය ගැහැණියක්

ඇය ජාතික රෝහලේ පහසුකම් දියුණු කිරීමටත්, රෝගීන්ගේ පහසුකම් හා අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් සැලසීමටත් විශාල වශයෙන් ආධාර සොයා දීමේ කටයුතුවල නිරත වන්නීය. එලෙස ඇය සෙවූ දේශීය හා විදේශීය හිතවතුන්ගේ ආධාර මත ඒකකයේ බොහෝ පහසුකම් ඉදිවී තිබෙන්නේය. අවුරුදු 25ක් සපිරෙන ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය නව්‍යකරණය කිරීමට රුපියල් මිලියන 100 ක විදේශ ආධාර පවා ලබාගැනීමට මූලිකත්වය ගෙන ක්‍රියා කලාය. දිනකට ජාතික රෝහලට රෝගීන් 300ක් පමණ ඇතුලත් වන අතර දරිද්‍රතාවයෙන් පෙලෙන් ඔවුන් වෙනුවෙන් රෝද පුටු, කිහිලි කරු ආදිය නොමිලේ ලබාදීමටද පෙරමුණ ගනු ලැබීය. ඇය ඒ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා සිදුකරමින් සිටින්නීය. කොවිඩ් වසංගත සමයේ ද ඇය එලෙස විශාල සමාජ සත්කාරයන් හි නියැලීමේ කටයුතු කරමින් සිටින්නීය. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඇය මුළු දිවයිනේම “ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනි” ලෙස නම් කරන ලදී. එසේම ඉන්ටර්නැෂනල් ජේසිස් සංවිධානය විසින් ඇයට ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන “විශිෂ්ඨතම සමාජ සේවිකාව” යන විරුදාවලිය ලබා දෙන අතර 2020 වර්ෂයේ අනෙක් සියලු ජනප්‍රිය කාන්තාවන් අභිබවා ඇය ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තාව ට හිමි සම්මානයද හිමි කර ගන්නීය. එය ලෝක වාර්තාවක් ලෙස සැලකෙන අතර හෙදියක් ජනප්‍රියම කාන්තාව බවට පත්වූ පළමු අවස්ථාව එයයි. පුහුණු කිරීමේ හෙද නිලධාරිනියක් ලෙස දේශීයව මෙන්ම විදේශීයවද කටයුතු කරන ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසද තම සේවය ලබා දෙන්නීය. එසේම ඇය විසින් වාර්ෂිකව 30,000 කට ආසන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යමණ්ඩල, සාමාන්‍ය ප්‍රජාව, මාධ්‍ය ඇතුළු සමස්ත ක්‍රියාවලිය තුලම අදාළ පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා තම දායකත්වය ලබා දීමට කටයුතු කරයි. “මම ජනප්‍රිය වුණේ මුහුණු පොතෙන්වත් මේ ඩියුටි එකෙන්වත් නොවෙයි. මම කරපු සමාජ සේවයෙන්. මම සාමාන්‍ය ගැහැණියක්. මේ රටේ අතිශය සාමාන්‍ය ගැහැණියක්. එච්චරයි.” පුෂ්පා රම්‍යාණි ද සොයිසා නම් අප දකින සුවිශේෂී ගැහැණිය තමාව හඳුන්වා දෙන්නේ එලෙසිනි.


(ඉඳුනිල් උස්ගොඩ ආරච්චි මාධ්‍යවේදිනියක් සහ නිදහස් ඡායාරූප මාධ්‍යවේදිනියකි. ඇය රාවය පුවත්පතේ සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ මාධ්‍යවේදිනයක් ලෙස සේවය කර ඇත.)


Reference Links and Further Reading

  1. Vanith Abhimana 2020: Pushpa Ramyani voted Sri Lanka’s Most Popular Woman, Newsfirst, 8th march 2021, https://www.newsfirst.lk/2021/03/08/vanithabhimana-2020-pushpa-ramyani-most-popular-sri-lankan-woman/

  2. Pushpa Ramyani De Zoysa Lanka’s trailblazing Nightingale, Daily Actus, 4th September 2008, http://archives.dailynews.lk/2008/09/04/fea23.asp

  3. Pushpa Ramyani De Zoysa, Facebook Page, https://web.facebook.com/PushpaSoyza/?_rdc=1&_rdr

  4. Pushpa Ramyani De Zoysa, Country First, 27th February 2020, https://www.youtube.com/watch?v=Hyb2e-fNuRA

  5. Pushpa Zoysa, Youtube Channel, https://www.youtube.com/c/PushpaZoysa/videos

Notes This article is pending support to be translated into English and Tamil. Please email storiesofslwomen@everystorysl.org if you would like to support us with translations or if you have any questions.


2 views0 comments