Narrative Reading List on Women and the City

The Narrative Reading List was developed by Iromi Perera, Meghal Perera and Piyumi Wattuhewa from Colombo Urban Lab for Everystory
 

හැඳින්වීම

“ඕනෑම ජනාවාසයක් එය ගොඩනැගුනු   සමාජය තුළ ඇති සමාජ සබඳතාවල භෞතික අනුරුවකි… අපේ නගර ගල්, ගඩොල්, වීදුරු හා කොන්ක්‍රීට් වලින්  ඉදිවුණු පීතෘමූලික සමාජ ක්‍රමයකි.”ජේන් ඩාර්ක්, භූගෝලවිද්‍යාඥ

අතීතයේ සිට නගර ඉදිකර ඇත්තේ පිරිමි විසින් පිරිමින්ටයි.. එවැනි නිර්මිත පරිසරයක් කාන්තාවන්ට  බලපාන ආකාරය 1970 දශකයේ සිට ම වාස්තුවිද්‍යාඥයින්, භූගෝල විද්‍යාඥයින් සහ ස්ත්‍රීවාදීන් ප්‍රශ්න කළ ඇති අතර, එහිදී නාගරික අවකාශකයක කාන්තාවක්  වීම සහ මෙම පරිසර තුළ කාන්තාවන් අත්විඳින  කරදර මෙන් ම ඔවුන්ට ලැබෙන වාසි සහගත අවස්ථා ගවේෂණය කෙරුණි. 19 වන සියවසේදී නාගරීකරණය පුළුල්වීමත් සමග මෙම නුපුරුදු, ජනාකීර්ණ පරිසර තුළ කාන්තාවන්ට හිමිවන ස්ථානය ගැන විමසිල්ලත් වැඩිවුණේ, ආර්ථික අවස්ථාවල සිට ප්‍රේමාන්විත  හමුවීම් දක්වා යම්තාක් දුරකට නිදහසක් හා තීරණ ගැනීමේ ඉඩක් නගර තුළදී කාන්තාවන්ට ලැබුණු හෙයිනි.

යටත් විජිතීය නගර බොහෝවිට කාන්තාවන්ගෙන් ශූන්‍ය වූ අතර, කොළඹ නගරයේ ද මුල් සංක්‍රමණිකයින් බහුතරයක් සම්පත් හා මුල්‍ය  සොයා නගරයට පැමිණි අවිවාහක පිරිමි විය. කොළඹ නගරයේ සමාජ ස්ත්‍රී පුරුෂ සමජභාවී  අනුපාතය රටේ අනෙකුත් ප්‍රදේශ හා සමාන වූයේ එම නගරය පිහිටුවා සතවර්ෂ ගණනාවකින් පසුව 1960 දශකය තුළ ය. අන්තර් වාර්ගික විවාහ සහ ධර්මදූත පාසැල් හරහා, සුදු ජාතික පිරිමින්ගේ නගරයක සිට යුරෝපීය මෙන් ම දේශීය කාන්තාවන් පිරුණු නගරයක් දක්වා යටත් විජිතීය කොළඹ පරිවර්තනය වුණු අයුරු නිහාල් පෙරේරා ගෙනහැර දක්වයි. ශ්‍රී ලංකාව තුළ ජාතික අව්‍යාජත්වය පෙන්වන ස්ථානයක්  ලෙස දුටු ගම්මානයට ප්‍රතිවිරුද්ධව, නගරය දකිනු ලැබුවේ බටහිරකරණය වුණු නූතන අවකාශයක් ලෙසයි. සංස්කෘතික ආඛ්‍යාන විසින් කොළඹ නගරයේ කාන්තාවන් බොහෝවිට දුටුවේ දූෂිත හා බටහිරකරණය වුණු පිරිසක් ලෙස ය: තරුණ ගැමි පිරිමියෙක් කොළඹ නගරය සහ එහි වෙසෙන සල්ලාල (බොහෝවිට යුරෝ-ආසියාතික) ගැහැණුන් හා ගැටී තමාව ම අහිමි කරගන්නා සාහිත්‍යමය කතා වර්ගයක් ගැන හර්ෂණ රඹුක්වැල්ල සාකච්ඡා කරයි.

1970 දශකයේ කොළඹ

ගෙදර වැඩ?

වාස්තුවිද්‍යාඥ ඩොලරස් හේඩන්ගේ නිරීක්ෂණයට අනුව පසුගිය සතවර්ෂයේ නගර සැලසුම්කරණයට ‘කාන්තාවකගේ ස්ථානය ගෙදරයි’ යන ප්‍රතිපත්තිය මූලික වුණු අතර, නිවෙස්වලට වී වෙසෙන කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වුණු මෙම “ගෙවල්, අසල්වැසි පෙදෙස් හා නගර කාන්තාවන් ශාරීරිකව, සමාජයීයව, හා ආර්ථිකමය ලෙස කොටු කළේ ය.” උපනගරවල සිට නගරයේ පිහිටි කාර්යාලයකට ගොස්, පසුව සිය බිරිඳ විසින් බලාකියා ගන්නා කුටුම්බයකට යළි පැමිණෙන පිරිමි ගෘහමූලිකයෙකුගේ ආකෘතියට සරිලන ලෙස මෙම නගර නිර්මාණය වුණි. නගරය ආර්ථික කටයුතු, රැකියා, හා නිෂ්පාදනය රජයන පුරුෂමය අවකාශයක් වුණු අතර ගෙදර එම කම්කරුවාට සැනසුම ලබා දෙන ස්ථානයයි. ගෙදරක් සෙවන හා රැකවරණය ලබාදෙමින්, ජීවිතය හා රාජකාරිමය කටයුතු පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන ගෘහස්ත මෙහෙය සපයයි. සමාජයීය ප්‍රජනනය හෝ සුරැකුම් සේවා ලෙස හැඳින්වෙන ඉවීම, පිරිසිදු කිරීම, රෙදි හේදීම, ළමුන් හා වැඩිහිටියන් බලා ගැනීම යන ඒකාකාරී වැඩ බොහෝවිට නිවෙස්වල සිදුකරන්නේ කාන්තාවන් විසිනි.

1950 දශකයේ ප්‍රචාරණ ලිපි විසින්, විවිධ අවකාශ සහ භූමිකාවල් ස්ත්‍රී පුරුෂ සමජභාවයට අනුව බෙදෙන අයුරු පෙන්වාදෙමින් ප්‍රවර්ධනය කළේ ය.

ගෙදරක් නිර්මාණය කරමින් නඩත්තු කිරීම ලේසි පහසු කාර්යයක් නොවන අතර, යටිතල පහසුකම් හා සේවා සැපයුම් හිඟ, අස්ථාවර හෝ නොපවතින ගෝලීය දකුණේ නගරවල මේ තත්ත්වය විශේෂයෙන් දිස්වේ. සේවා ඉල්ලුමේ පමණට සැපයුම නොමැති විට හා එම සේවා නොමැති විට, සිය නිවෙස්වලට අවශ්‍ය වතුර, විදුලිය හා සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමට කාන්තාවන් සිය ශ්‍රමය යොදවයි. දෛනික වැටුපෙන් යැපෙමින්, බොහෝ විටෙක තම ආර්ථික ස්ථරයේ ම ගම්බද පවුල්වලට වඩා ජීවන වියදමක් දැරූ, අඩු ආදායම් ලාබී නාගරික නිවැසියන්ට අසමාන ලෙස බලපෑ අර්බුධය තුළ සිය එදිනෙදා ගෘහස්ත අවශ්‍යතා සපුරාගැනීමට කාන්තාවන් භාවිත කළ උපක්‍රම අතර අතින් රෙදි සේදීම, පෝෂ්‍යදායි ආහාර අත්හැරීම, හා ගෑස් ඉතිරිකර ගැනීමට අනතුරුදායක දර ලිප්වල ඉවීම වැනි දේ ඇතුළත් ය. 2022 – 2023 කාලයේ විදුලි පරිභෝජන ගාස්තු ඉහළ යාමේ බලපෑම සහ එය කාන්තාවන්ට මෙන් ම ඔවුන්ගේ විවේකී කාලයට බලපාන අයුරු ගවේෂණය කරමින්, මේඝල් පෙරේරා කොළඹ නගරයේ කම්කරු පන්තියේ දුප්පතුන්ගේ විදුලි පරිභෝජනය ගැන ආවර්ජනය කරයි.

සුරැකුම් සේවය නිවාසකරණය හා බැඳී ඇති අයුරු ගැන ලියන ඩේවිඩ් මැඩන් පවසන්නේ, “පොදු නිවාස සංකීර්ණයක් කඩා බිඳ දැමෙන හෝ නිවසකින් එහි නිවැසියන් එළවා දැමෙන හෝ සෑම අවස්ථාවක ම, සුරැකුම් සේවා පද්ධතියේ යම් කොටසක් කැඩී යන අතර එය යම් කැපකිරීමකින් යළි ගොඩනැගීමට සිදුවන බවයි. සමකාලීන නගරය නොනවත්වා ම උඩුයටිකුරු වන නිසා නිවැසියන්ට නිතර ම සිය සමාජ සහාය ලබාදෙන ආකෘති හා ජාල යළි යළිත් ගොඩනගා ගැනීමට සිදුවේ.” ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාසවල වෙසෙන කාන්තාවන්ට අවතැන් වීම නිසා ඇතිවන බලපෑම අසමාන එකකි. සිය නිවසින් පළවා හැරීමට ලක්වීමට අවස්ථාවක් තිබීම ම එම ප්‍රජා බියට පත්කරන අතර, එහි ලොකු ම බර දරන්නේ කාන්තාවන් ය. ඉදිරියේදී සිය නිවාසවලින් නෙරපීම අපේක්ෂා කරමින්, ඉන් ලැබෙන වන්දි මුදල මත පදනම් ව දේපළ උරුමය හා සම්බන්ධ ගැටුම්වලට පටලැවී සිය පිරිමි සහෝදරයින්, සැමියන් හා සැමියාගේ පවුල්වලින් තාඩන පීඩන හා හිංසනයට ලක්වන කොම්පඤ්ඤ වීදියේ අඩු ආදායම් ලාබී ජනාවාසයක කාන්තාවන් ගැන ආශා අබේසේකර විස්තර කරයි. වෙනත් තැනකට මාරු වීම ම මිනිසුන් අස්ථාවර කරන අත්දැකීමක් වෙයි. පෙරකල ළමුන් එළිමහනේ සෙල්ලම් කරන විට මුළු ප්‍රජාව විසින් ම ඔවුන්ට රැකවරණය සපයා ඔවුන් ගැන සෝදිසියේ සිටි නමුත් දැන් එය අහිමිව ඇති අතර, නිවාස සංකීර්ණවල පටු කොරිඩෝවවල් හා එළිය නොවැටුණු තරප්පු පේළි නිසා ගැහැණු ළමයින්ගේ සංචලතාව  සීමා වෙයි. සංවර්ධනයේ නාමයෙන් විවිධ ප්‍රජාවල් පදිංචි කරවන කොළඹ නිවාස සංකීර්ණවල රෙදි සේදීම වැනි සරල ක්‍රියාකාරකම් වෙනුවෙන් ද ගැටුම් හා තරඟකාරීත්වය  ඇතිවන ආකාරය ඉරෝමි පෙරේරා පෙන්වා දෙයි.

නිවාස සංකීර්ණවලට මාරු කිරීම නිසා රෙදි සේදීම යන කාන්තාවන්ට නියම කෙරුණු කාර්යය වඩාත් සංකීර්ණ හා කාලය වැඩිපුර වැයවෙන එකක් බවට පත්වන ආකාරය ඉරෝමි පෙරේරා නිරීක්ෂණය කරයි.

සුරැකුම් සේවා මෙහෙයට බාධා කරන හෝ සහාය වන නිර්මිත පරිසරාංග වන, සුරැකුම් සේවා වෙනුවෙන් වූ නාගරික යටිතල පහසුකම් ගැන සිතීම එක් ප්‍රවේශයකි. හේඩන් අපට පෙන්වාදෙන පරිදි “ළමා සුරැකුම් සේවා, පොදු ප්‍රවාහනය, හෝ ආහාර සේවා නොමැති පරිසරයක් වෙනස්කිරීමට ගනු ලැබූ විසඳුම් ‘පෞද්ගලික’, වානිජමය ලාභයක් ඇති විසඳුම්වන අතර, ඉන් සමහරක් නම් සේවිකාවන් හා පැයේ පඩියට ළමුන් බලාගන්නන්; වරලත් දිවා සුරැකුම් සේවා හෝ දිගු වෙලාවක් රූපවාහිනිය නැරඹීමට දීම; ක්ෂණික ආහාර සේවා; වාහනයක්, රෙදි සේදුම් උපකරණයක්, හෝ මයික්‍රෝවෙව් අවන් එකක් ගැනීමට පහසු ණය ක්‍රම වැනි දේ වෙයි.” මෙම පෞද්ගලික විසඳුම්වල බර බොහෝවිට දරන්නේ මෙම තත්ත්වය නිසා හටගන්නා ඉතා අඩුවෙන් පඩි ගෙවන රැකියාවලට යොමුවන, වඩාත් දුප්පත් කාන්තාවන් විසිනි. නමුත්, සුරැකුම් යටිතල පහසුකම් මීට වඩා පරිවර්තනයක් ඇතිකරන ආකාරයෙන් නිර්මාණය කළ හැක. උදාහරණයක් ලෙස, කොලොම්බියාවේ බොගෝටාහි පළමු නගරාධිපතිණිය සුරැකුම් සේවකයන් හා ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ අවශ්‍යතා මැදි කරගෙන ‘Care Blocks’ නම් ඒකාබද්ධව පොදු සේවා සපයන ස්ථාන පිහිටෙව්වා ය. විනාඩි 15-20 ඇවිදින දුරින් පිහිටි මේවායේ ළමා සුරැකුම්, වැඩිහිටි සුරැකුම් හා රැකියා පුහුණු සේවා මෙන් ම, නීති ආධාර, වැඩිහිටි අධ්‍යාපනය, විනෝදාස්වාදය හා ඉහිල් වීම සඳහා පහසුකම් ද ඇත. කොළඹ නගරය තුළ සුරැකුම් මෙහෙය මවගේ කර්තව්‍යයක්  ලෙස පවතින අතර, ඉන් කම්කරු පන්තියේ කාන්තාවන්ට පූර්ණ කාල රැකියා හෝ විධිමත් රැකියා ලබා ගැනීමට බාධා පැමිණවෙයි. එමෙන් ම, ඔවුන්ගේ ආදායම් මාර්ග තවමත් තීරණය වන්නේ සුරැකුම් මධ්‍යස්ථාන හෝ පාසැල්වල කාල සටහන් අනුවයි.

කොලොම්බියාවේ බොගාටාහි “care block” මධ්‍යස්ථානයක පැවැත්වූ රංගනයක් සඳහා සාම්ප්‍රදායික දිග ගවුම් ඇඳගත් කාන්තාවන්. මෙම පන්තිය එම ප්‍රදේශයේ වෙසෙන, සිය පවුලේ පඩි නොගෙවූ සුරැකුම් මෙහෙයක් සිදුකරන ඕනෑ ම කෙනෙකුට නොමිලේ ලබාදෙන සේවාවලින් එකකි.

කාන්තාවන් රැකියාවේ යෙදෙනු ඇතැයි නගර සැලසුම්කරුවන් අපේක්ෂා නොකරත් යතාර්ථය ඊට බෙහෙවින් වෙනස් ය. ගෝලීය දකුණේ නගරවල කාන්තාවන් බහුතරක් අවිධිමත් අංශයේ අඩු පඩි සහිත අනතුරුදායක රැකියාවල නිරත වෙයි. ලොව පුරා පොළවල්වල වෙළෙන්දන් බහුතරයක් කාන්තාවන් වන නමුත් ඔවුන් ගැන නොසිතා නිර්මාණය කෙරුණු අවකාශ නිසා ඔවුන් පීඩාවට පත්වෙයි. වෙළෙන්දියන්ට බොහෝ විට වැසිකිළි හා සනීපාරක්ෂක පහසුකම් නොමැති අතර, එවැනි පහසුකම් තිබුණත් ඒවා බොහෝ අවස්ථාවල ස්ත්‍රී පුරුෂ සමජභාවයට  අනුව බෙදූ ඒවා නොවන නිසා ආරක්ෂාව පිළිබඳ ගැටළු මතුවෙයි. අවිධිමත් වෙළඳාමේ ඇති එක අවදානමක් ලෙස වෙළෙන්දියන්ට පොලීසියේ, පිරිමි වෙළඳුන්ගේ මෙන් ම පාරිභෝගිකයන්ගේ ද හිංසනයට හා තාඩන පීඩනවලට ද, සිය වෙළඳ ස්ථානයෙන් එළවා දැමීමේ අවදානමට ද මුහුණ දීමට සිදුවෙයි. කුලී රියදුරු සේවයේ යෙදෙන කාන්තාවන් ද ඊට සමාන ලෙස ලිංගික හිංසනය, පාරිසරික දූෂණය හා කම්කරු ආරක්ෂක නීති නොමැතිකම වැනි දෙයින් පීඩාවට පත්වෙයි.

දේශගුණික විපර්යාස සහ අධික උෂ්ණත්වය දරුණු වීම නිසා මෙවැනි රැකියාවල නියැලීම තවත් සංකීර්ණ වී ඇත. කොළඹ එළිමහනේ රැකියාවේ නිරත කාන්තාවන් තාප ආතතිය නිසා විවිධාකාරයෙන් බලපෑමට ලක්ව ඇත: උෂ්ණත්වය නිසා ඔවුන් විකුණන ආහාරපාන නරක්වීම නිසා ආදායම අඩුවන අතර, වැසිකිළියක් නොමැති නිසා අඩුවෙන් ජලය පානය කිරීමෙන් ආසාදන හා අනෙකුත් සෞඛ්‍ය ගැටළු මතුවෙයි. පොදු වැසිකිළි වැනි පොදු යටිතලපහසුකම් නොමැති වීම නිසා මෙම තත්ත්ව උග්‍ර වෙයි. දකුණු ආසියාවේ අඩු ආදායම් ලාභී ජනාවාසවල කාන්තාවන්ට ඔවුන්ගේ ම ප්‍රජා තුළ ද වැසිකිළි පහසුකම් නොමැති වීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව අනතුරුදායක තත්ත්වයකට පත්වෙයි. වැසිකිළි පහසුකම් හරහා නගර නිර්මාණයේ ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස් කොට සැලකීම් ද විටෙක දිස්වන අතර, 2018දී පැරිසියේ පිරිමින් සඳහා ස්ථාපිත කළ පොදු කැසිකිළි බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වූයේ, පොදු අවකාශවල පිරිමින් පමණක් වෙසෙනවා යන අදහස ඉන් තවත් ඇඟවෙන නිසාවෙනි.

සංචරණය, ආරක්ෂාව සහ නගරය යළි අයිතිකර ගැනීම

නගර තුළ කාන්තාවන්ට සංචරණය කිරීමේ හැකියාවට කරුණු කිහිපයක් බලපායි. කාන්තාවන්ට පිරිමින්ට වඩා වෙනස් ගමනාගමන රටා තිබෙන්නේ, කාර්යාලය හා නිවස අතර සෘජු ගමනක යෙදෙනවාට වඩා, සිය ගෘහස්ත වගකීම් හා සුරැකුම් කර්තව්‍ය වෙනුවෙන් විවිධාකාරයේ ගමන් යාමට කාන්තාවන්ට සිදුවන බැවිනි. ඔවුන් පිරිමින්ට වඩා පාගමනින් යෑම ද සිදුකරයි. කාන්තාවන් බොහෝවිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය  මත පදනම් වූ දෘඩ භූමිකා තුළ ගෘහස්ත අවකාශයේ කොටුවී සිටින නිසා කාර්යක්ෂම හා මූල්‍යමය ලෙස දැරිය හැකි පොදු ප්‍රවාහන සේවාවලින් ඔවුන්ගේ සංචලනය වැඩිකිරීමට විශාල බලපෑමක් ඇතිවෙයි. කර්ණාටක ප්‍රාන්තයේ ‘ශක්ති යෝජනා ක්‍රමය’ කාන්තාවන් හා සංක්‍රාන්තික පුද්ගලයන්ට නොමිලේ ප්‍රවාහන සේවය සැපයූ හෙයින් කාන්තාවන්ට වැඩි මූල්‍යමය ස්වාධීනත්වයක් ලැබී, රැකීරක්ෂාවලට සම්බන්ධ වීම හා ජීවිතයේ පළමු වරට විනෝද ගමන් යාම ද වැඩිවුණි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ද කාන්තාවන් ගමනාගමනය පිළිබඳ ගන්නා තීරණවලට බලපායි. UNFPA සංවිධානය කළ අධ්‍යයනයකින් ශ්‍රී ලංකාවේ කාන්තාවන් 90% පොදු ප්‍රවාහනය තුළ යම් ආකාරයේ ලිංගික හිංසනයක් අත්දැක ඇති බව සොයා ගෙන ඇත. එවැනි අත්දැකීම් කාන්තාවන්ගේ ජීවිතයේ සෑම අංශයකටම බලපායි. දිගු ගමනාන්තවලට ඇති අකමැත්ත නිසා කාන්තාවන් ශ්‍රම බලකායට එකතු වීමට ඇති උනන්දුව අඩු කෙරවෙන අතර, ගැහැණු දරුවන් පොදු ප්‍රවාහනවල යාමේදී ඔවුන්ව කටුව යාමට සිදුවීමෙන් සුරැකුම් සපයන්නන්ට තමන් වෙනුවෙන් ඇති කාලය තවත් අඩු වෙයි. කුලී වාහන සේවා නිසා කාන්තාවන්ට රෑට ගමන් බිමන් යාමට පහසුවක් ලැබුනත්, එහිදී ද ඔවුන්ගේ ආරක්ෂාවට විවිධ තර්ජන ඇතිවෙයි.

පොදු ප්‍රවාහනය තුළ සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත  පදනම් වූ හිංසනය නිසා ඉන්දියාව, ජපානය හා ඉරානය වැනි රටවල්වල විවිධ නගර කාන්තාවන්ගේ සුරක්ෂිත ගමනාගමනය උදෙසා කාන්තාවන්ට පමණක් වෙන්වූ කොච්චි පෙට්ටි හා බස් රථ හඳුන්වාදී ඇත. එවැනි ක්‍රියාමාර්ග හරහා පොදු ප්‍රවාහනය පිළිබඳ ඇති බය සාංකාව අඩු වුවත්, විවේචකයන් පෙන්වා දෙන පරිදි ලිංගිකත්වය මත බෙදුණු ප්‍රවාහන සේවාවලින් හැසිරීම්වල වෙනස්කම් ඇතිකෙරෙන්නේ නැති අතර, එමගින් පිරිමින්ට හා කාන්තාවන්ට ස්ත්‍රී පුරුෂ සමජභාවය  මත පදනම්වූ හිංසනයෙන් තොරව එක ම අවකාශයක ජීවත්විය නොහැක යන අදහස බලගැන්වෙයි.

පොදු ස්ථානවල කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව අලුත් ආකාරයට අපි සිතිය යුතු බව බොහෝ විද්වතුන් තර්ක කර ඇත. කාන්තාවන්ගේ ආරක්ෂාව යන ඉලක්කය පීතෘමූලික බලවේග මගින් අයුතු ලෙස භාවිත කර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත  පදනම් කරගත් එකාකෘති බලගැන්වීමට හා කාන්තාවන්ගේ නිදහස් සීමා කිරීමට එය භාවිත කරනු ඇතැයි එම විද්වතුන් අනතුරු අඟවයි. අපි කාන්තාවන් හා නගරය දෙස බැලීමේදී ‘සිදුවීමට ඉඩ ඇති හිංසනය’ යන කාචයෙන් පමණක් බැලීම නැවැත්වුවහොත් කුමක් සිදුවේ ද? ශිල්පා ඵාද්කේ සහ සමීරා ඛාන් තර්ක කරන ආකාරයට යම් අවදානමක් ගැනීමට ඇති අයිතිය ද, කාන්තාවන්ට පොදු අවකාශවලට ප්‍රවේශ වීමට සීමා විරහිත විනිර්මුක්තියක් ලබා දෙන ඉලක්කයකි. මෙම තර්කයට අනුව කාන්තාවන්ට පොදු අවකාශ හා ඒවායේ ඇති සුව පහසුකම්වලට අයිතියක් ඇති හෙයින්, පිරිමින්ට මෙන් රාත්‍රියේ ද නගරයට ප්‍රවේශ වීමට ඔවුන්ට හැකිය. නගරය යනු සතුට, විනෝදය හා සුව පහසුව ලබා දෙන තැනක් ලෙස ප්‍රතිස්ථානගත කිරීමෙන්, ‘කාන්තාවන්ගේ ස්ථානය කුස්සියයි’ යන මුල් තර්කයට අභියෝග කළ හැක. සමීරා ඛාන්, ශිල්පා ඵාද්කේ සහ ශිල්පා රනාදේ සිය Why Loiter? නම් වැදගත් කෘතිය හරහා තර්ක කරන්නේ, පිරිමින් නිතර ම කරනවා සේ කාන්තාවන්ට ද නගරයේ ඔහේ කාලය ගත කිරීමට අයිතියක් ඇති බවයි. කාන්තාවන්ට නාගරික අවකාශ යළි ලබාගෙන, ඒ හා එන පරිපූර්ණ පුරවැසිභාවය තමා සතු කරගත හැක්කේ එම අවකාශවල ඔහේ කාලය ගත කිරීම හෙවත් නිසි හෝ පිළිගත් හේතුවක් නොමැතිව එම ස්ථානවල රැඳී සිටීමෙනි.

Why Loiter? හරහා #GirlsatDhabas සහ #GirlsPlayingStreetCricket වැනි මුලපිරීම් ජනිතවී ඇති අතර, ඒවා හරහා දකුණු ආසියාවේ කාන්තාවන් හා ගැහැණු දරුවන් නාගරික අවකාශ යළි අත්පත් කර ගනියි.

මූලාශ්‍ර

පොත්

ලෙස්ලි ක්’න්ගේ Feminist City: A Field Guide

Cities, Slums and Gender in the Global South - සිල්වියා චාන්ට්, කැතී මැක්ඉල්වයින්

ජේන් ජේකොබ්ස්ගේ The Death and Life of Great American Cities

ශිල්පා ඵාද්කේ, සමීරා ඛාන්, සහ ශිල්පා රනාදේගේ Why Loiter?: Women and Risk on Mumbai Streets

නීති පී. සහ ආනන්ත් කමත්ගේ Urban Undesirables: City Transition and Street-Based Sex Work in Bangalore

ලිපි

Feminism and the Politics of the Commons - සිල්වියා ෆෙඩරිචි

Dangerous Liaisons - ශිල්පා ඵාද්කේ

Women’s search for public space and leisure in Agra: cots, courtyards, and riverbank - මහීමා තනේජා

Gender, public space and social segregation in Cairo: of taxi drivers, prostitutes and professional women - අනුක් ඩි කොනින්ග්

Gender, space, and resistance: street vendors of Dhaka city- මෙහෙරි තමන්නා, ක්‍යෝකෝ කුසකාබේ, ජෝයී ශෛරී චැටර්ජි සහ විලාස් නිතිවතානනොන්

Making Colombo Intimate - මිහිරිනී සිරිසේන

What it’s like being a female tuk-tuk driver in Sri Lanka - සිනාරා රත්නායක

Can Fun Be Feminist? Gender, Space and Mobility in Lyari, Karachi - නිදා කිර්මානි

On Building Cities for Women and the Early Days of Feminist Architecture

Flâneuse: Women Walk the City in Paris, New York, Tokyo, Venice, and London  - ලෝරන් එල්කින්

‍ ‍

නරඹන්න

Work at Your Own Risk

What Would a Feminist City Look Like?

අහන්න

She Builds: Episode on Minette De Silva https://www.shebuildspodcast.com/episodes/minnettedesilva?rq=minette

The Feminist City https://vidhilegalpolicy.in/podcasts/the-feminist-city-trailer/women-in-the-platform-economy-with-dr-sarayu-natarajan-part-2/

‍ ‍


Centre for a Smart Future is an interdisciplinary public policy think tank based in Colombo, Sri Lanka. We conduct high quality research, promote collaboration across disciplines, and generate actionable ideas. We like being interdisciplinary and imaginative in how we think about challenges and solutions.

The urbanisation and cities theme at CSF is led by Colombo Urban Lab (CUL). CUL works towards equitable and sustainable cities in Sri Lanka by advocating for research driven policy making where the lived experiences of citizens form the basis of a city’s development. It is a collaborative and interdisciplinary space, enabling connections between research, practice and public policy. Our research and advocacy themes include infrastructure, food environment, climate change, social security and public space.

Previous
Previous

Narrative Reading List on Women and the City

Next
Next

“அம்மாக்களும் மகள்களும்” பற்றிய வாசிப்புப் பட்டியல்